Friday, July 30, 2010

චිඃ !

Thursday, July 29, 2010

පෙර වගෙ

Wednesday, July 28, 2010

දියණියනි

Tuesday, July 27, 2010

ආලෝකනය


පෙර දවස මේ මාවත
අප අත්වැල් පටලාන
ගිය අයුරු සැඟව ඇත
අතීත මතක පිටු අතර

නීල හරිත තුරුවියන යට
නුවර එලියේ සිසිල විදිමින
සියොත් රාවෙහි තෙපුල අසමින්
වරු ගනන් පැය ගතකලා අප
මලින් මල ගිලි-ගිලිහි එකිනෙක
පාවඩක් සැදු අයුරු මතකද?

මේ ලී දඬු වලට
මේ තුරු පත්වලට
පන තිබේ නම් දිනක
කෑ ගසා පවසාවි
අපේ පෙම් අන්දරය
අප විදි පෙම් සුවය

අප මෙන්ම අද දිනේ
තුරුවැල්ද මේ බිමේ
වෘද්ධවී අසරණව....
තුරු පත් හැලී ගොස්
දඬු රිකිලි දිරාගොස්
මරණයට අතවනත්

සිසිල් හෙවනේ සුවය
පෙර දිනක අප වින්ද
අද මේ මගෙහි නොමැත.....
කාෂ්ඨක හිරු රැසින්
කේඩෑරිවී ගොසිනි පොලෝතල
ඛාදනය වී ගොසිනි
සුමුදු සුදු වාලුකා තල

RDA එක පැමිණ
බිම හෙලයි නොබෝ දින
මේ සියල් රූස්සයන්
ක්ෂණයෙන් එක මත එක
අප තැබූ පා සළකුණු
නිදන් ගත කරමින් පසයට
තාර අතුල මහ මඟ
ඉදිවේ පෙර මඟ සිඳගෙන

හෙට දිනේ ඒ මගේ
ජත්‍රයක් යට පෙම් රසේ
අප මෙන්ම බොහෝ දෙන
යනෙනු ඇත අව් කාස්ඨකේ

Monday, July 19, 2010

හැත්තෑ හතේ අම්මා


අඬන විට මා කුඩා අවදියෙහි බඩගිනිව
තම්බා බතල දළු
ලුනු දියර ඉස
පොල් හා මුසුකොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබය
ප්‍රබුද්ධ (1977) පද්‍ය සංග්‍රහය


පුඬුව වැරූ කල
දෙන්නට කිරිබිඳක් නොමැතිව
ලොව හොඳම ළදරු ගෝ කිර-NAN
පොවා මා වැඩු අම්මා ඔබය....

6.30 ට අවදිව
හතේ ස්කූල් රියට දක්කන්නට
දනි පනි ගා
කැරට් ලීක්ස් බෝංචි කපා
සෝයා සෝස් නෝර් සුප් කැට
අඩු වැඩිය මුසුකොට
බාස්මති බත සමඟ
කරකවා උඩදමා
ෆ්‍රයිඩ් රයිස් හැදු අම්මා ඔබය….

ටී ටයිම් එකට කන්නට
පාන් ලෑතර මැදට
බේකන් පෙත්තක් යොදා
සලාද පතින් හැඩදමා
සෑන්ඩ්විච් හැදු අම්ම ඔබය

පාසල් නිමවන වංගියට
ෂොර්ට් ඊට දෙක තුනක්
ගිල්ලවා බංඩියට
ස්විමින්,ඩාන්සින්,එලකියුෂන්
අනං මනං ටියුෂන් පෝලිමේ
ගෑටූ අම්මා ඔබය

ඇතුලත් කෙරුමට මා
ජනප්‍රිය පාසලකට
ඉසුරුපායේ,තවුතිසාවේ
ඇමති ගොල්ල පස්සේ
කකුල් කඩිත්තුව හැදෙනතුරු
සති ගනන් බඩගෑ
අම්මා ඔබය

ලකුණු දෙකක් මඟහැරී
අහම්බෙන්
පංතියේ දෙවනියා වුනු දින
ආඩපාලි කියමින් ගුරුතුමිය සමඟ
අරියාදුවට ගිය උරණව
අම්මා ඔබය

අකැප කොට සාහිත පතපොත
මෙඩ්ඩෙක් ඉන්ජෙක් කෙරුමට
සිහින මවමින
විද්‍යා සයුරේ මා අනාතකල
නියමුවානෝ ඔබය

සුපර් ස්ටාර් ඩාන්සින් ස්ටාර්
තරඟවලට
දමා අයැදුම්පත් එකපිට එක
සුපිරි තරුවක් කෙරුමට
ලකඹරේ දිදුලන
වෙර ගත් අම්මා ඔබය

නොදත්තෙමි අම්මේ
මම එකල
ඔබේ ඔය සියලු රචනා
ඇරියස් ඇල්ලීමක් බැව්
මාතුරින්
යටගියාවේ මඟ ඇරුන......
වෙරදනර කල මාද
එලෙසටම මාපුතු මතින්

Saturday, July 17, 2010

පුත්‍රී


ඔබ මෙලෝ එළිය දුටු දිනය
මා වැඩියෙන්ම සතුටු වුනු දවස
දෙනයනින් කඳුළු කැට වට තරම
දන්නේ මා පමනකි ප්‍රිය දුවනිය

මව් කුස යහනත
ගෙවූ දස මස තුල
ගැබ් ගත්තේ ඈ නොව
මා යැයි කී වරක් සිතුනෙද

නැවුම් පලතුරු එලවලු
ධන ධාන්‍ය බව භෝග
ගෙනවිත් පිරවීමි මුළුතැන
මව්ගෙ රුහිරෙන් නුඹේ කායය
පෝෂණය වන බැව් දැන සොඳින

වැඩ අහවර වන කණසම
එලඹෙන තෙක් ඇඟිලි ගනිමි මම
මිටින් හල විහඟකු සේ
පියඹා එමි කුටුම්ඹයට
එක හුස්මට
නුඹේ ඔය වත දකින්නට….

මව්තුමියගෙ වගපල දෙසුම හැමදා රෑට
කේවල් කරමින් ඈහට ආලය අඩුබව
ආඩපාලි මැද ඇගෙ දුක් බර කතා මැද
දුවනිය මගේ සිත තිබුනේ ඔබ ලඟම…….

කාලය ගෙවුනු යුහුව
හැම සිත් නොදැනිම
යෞවනෝදය එලඹින
මසිත් භාරය මහත් කරමින

සාධු කල්ක්‍රියාවෙන් යුතු
ගුණ නැණ වීරියෙන් යුතු
භද්‍ර යෞවන ගැටිස්සියකගෙ පිතු
වීය මා පුරෝ පින් ලැබු



නිසි විය එලඹි ඇත
කුළකුමරෙකු හා සරණ බඳින්නට
හදෙහි හොවා රැකි රන්බිජුවයි ඇය
ඉඳින් කෙලස ඈ සරණ යවන්නද

පුත්‍රී……… මාතනි කර යා නොයනු මැන !

Friday, July 16, 2010

කලාපෙ සොයුරියෝ


යදම් මුර කඩොලු
හැරපියන කල
පහේ කණිසමට
කම්හලින් පිටවීම
කඩි ගුලක් ඇවිස්සුනු කලක මෙන
සන්නාලී සොයුරියන්
කලාපේ වැඩකරන
සුන්දර දසුනකි මන බඳින එය
එහෙත්....එහෙත්....එහෙත්.....???????
එයටින් දිවෙන පුවත අසුන්දරබර……..

සුන්දරැති හදවතිය
ගෙවයි කඨෝරස දිවිසැරිය
පකිස් ලෑලි අතුරා නිමකල
කුටිතුල සත් අට දෙන එකට
සාඩින් ටින් තුල ඇහිරූ
සැමන් මසුන් මෙන් සංකූචිත

වේලක් නොකා වේලක්
ඉතිරි කරනට තනයි පඬුරක්
මැසිම පාගා ලැබෙන සොච්චමින්
සරිකරනට කුටුම්ඹික දිවි රැසක්

ඒ වසල වෙළඳ අඩවියේ
සිල්ලරට ඇත්තේ ශ්‍රමය පමණද
කැනහිලුන් ඇත චාටු වෙස්ගෙන
ඔබ මොබ සැරිසරමින්
ගොදුරු ඩැහැගනු නියාවෙන්.......
වසඟයට ගෙන අහිංසක සිත්
තලා පෙලා රීරී උරාගෙන
පාරිශුද්ද බව අමු අමුවෙ කෙලෙසා
වතක් නැති පොකට්ටුවටත් විදලා……!

මේ රැඟුම අවසන
කලවයස පසුවන තැන
හකුලාගෙන යාමට වෙත
ගෙනා-අරගත් සියළු දෑ කැටිකර
සහකරුවෙකුගෙ රැකවර පතා.....

ශේෂවුයෙ ඇඟකටුටික පමණද
පිවිතුරු බව රැකගනු වර ලැබුනිද
අකාලයේ මල පිපී පරවුනිද
සන්නාලියගේ ඉරණම මේකද?

Tuesday, July 13, 2010

සඳේ කිමද මේ...



ඔහු නිවසේ නොමති දින
පුන්සඳ විත් ඔච්චම් කරන සඳ
කවුළුවෙන් එබී බැලූ විට.....
ලැජ්ජා මුව හොවාගති ඇය
නග්න රුව හේ දුටු නියාවෙන

සඳේ කැල්මන් පතිතවී සොඳ
බබලවයි ඇගෙ ඡවි කලණ මන
අමාවක දින අඳුරු ගගනත
සිකුරු තරුවක් පෑයු කල මෙන.....
ඉන් එලියවී ශාලිකා ගැබ
පෙනේ ඇගෙ අංග පච්චාංග දෙන
සුරඟනක් මිහිබට කලෙක මෙන.....
දිනිසුරු පෑයූ ලෙද මැදියම......

ඈ හිමි සිසි තෙම ඝර නොමැති යම
කිමද මේ නටන නාඩගම හිමකර?
තරිඳුන් සියක් පෑව්වද ඔබ නොව
ඇගේ හිත නැහැ ඔහුට මිස කිසි කෙනෙකුට

Saturday, July 10, 2010

සේයා රූ ශිල්පියා



දෙනෝදහක් මංගල යුවල දසාත හිඳවාලා
සේ රූ කරත් නෙක කොන් මත පිහිටාලා
මනරම් සේය මැව් කල බෝ තුටු වීලා
රසවිඳිනා හැටි දුටිමි ඔබ බැති පේවීලා....

මනරම් සිතුම් වෙනුවෙන් පුද පඬුරු ගෙන තොසා
ඈහා කැටුව මා නුඹෙ පියසට ගියදා
ආලින්දයේ නුඹෙ මංගල ඡායාව නොපෙනුනා
තවමත් තනිකඩද? කාරණ කිම සේයා සුමිතුරා..........

Friday, July 9, 2010

හඳ මාමේ........



හඳ මාමේ........
ඔයා පෙමින් තියා ඉන්න
හා පුංචා
දෙනවද මට ටික දොහකට
තරු මං දිගේ සොයායන්න
අලිමංකඩ කඳවුරු බිම
මගේ තාත්තිය සොයාන........

හෙට වෙනකොට ඔබ අහසේ
උන්නු තැනක් සොයනු නොහේ
ඒකයි මම බලල බලල
සොයා ආවේ ඔබව රැයේ
ඔබ ලොකුවට ඉන්න දිනේ
හා පුංචත් ලොකුනෙ අනේ !

අපේ අම්මි නම් කියනව
තාත්ති දිව්‍ය ලෝකෙ කියල
අපිත් එහේ යමු කීවම
අඬනව ඈ ඉකිගසලා…..

තාත්ති මගෙ නැතිවෙනකොට
අම්මියාගෙ බඩේලු මම
"අනේ එයා missing වෙනකොට
මාස හතයි බඩට මගේ"
එකදවසක් අම්මි මගේ
කිව්වා පාරෙදි කෙනෙකුට......

කොටි මාමල පරද්දලා
ආමි මාමල යුද්ධය දින්නා
හතර වටේ ඉන්න ඈයො
රතිඤ්ඤ දා තුටුවෙන්නා
අපෙ අම්ම්ය කොට්ටෙ බදා
හූල්ල හූල්ල ඉන්නා........

අපෙ අම්මිව හිනස්සන්න
පුංචි වුවත් පුලුවනි මට
හා හාමිත් එක්ක ගොහින්
අපෙ තාත්ති සොයා එන්න
අලිමංකඩ පීරාලා............

තාත්තියත් එක්කල මං
කිරි පැණි හෙම ගේනව බොට
බයක් ගන්න කාරි නැහැ
හා හාමිය කැටුවෙනවා මම
සත්තම සත්තයි මං පල්

හඳ මාමේ සමාවෙලා
හා හාමිව ඩිංගකට දෙන්න
තාත්ති මගෙ සොයාගන්න
අලිමංකඩ බලායන්න…………

Sunday, July 4, 2010

මොන්ත ක්‍රිස්තෝ

















එඩ්මොන් ඩාන්ටේස්...
වාසනාවත්-අවාසනාවත්-වාසනාවත් තුල
දෝලිත මිනිසා….
කිමැද ඔබ කල වරද????
පුරා වසර දහතුනක්
සයුරු තෙරේ හුදකලාව
Chateau d’If සිර කඳවුරේ
ගාල් කොට තැබුමට.....

සුරූපී ම'සිඩීස් හට පෙම්කල වරදටද
එක් ලේ සොයුරාවන් මිත්‍ර ෆෙනොන්
වෛර බැන්දේ??
ෆෙරියොන් නැවේ නියමු තනතුර
නුඹට හිමිවූ නිසාද
නැවිකැලේ මිතුරු ඩන්ග්ලර්
අමනාප වූයේ??
නැපෝලියන් හා කුමන්ත්‍රණ
අසුවෙතැයි බියෙන්ද
විනිසුරු විල්ෆොර්ඩ් ඔබව
දඟගෙට දැක්කුයේ??

කියාපන් එඩ්මොන් කියාපන්
අපායක් වුනිද ජීවිතය
Chateau d’If හි??

සිරකරු ෆෙරියා පියතුමා හමුවීම
දෙවියන් දුන් ත්‍යාගයක් විය
ඩාන්ටේස්ගේ දිවිසැරිය
යලි ලියවීමට පටන් ගැනිනි
දේශපාලනය කලාව භාෂාව
අර්ථ සතර සටන් හරඹ
ආප්ත සංස්කෘතිය
හැමදෑ ඔහු ඉගන්වීය....

මියගියේය හේ
සුවිසල් ධනස්කන්දයක්
උරුම කරමින්.....
මොන්ත ක්‍රිස්තෝ දිවයිනේ
සඟවා තිබු නිධානයක
තොරතුරු හෙළිකරමින්........

පූජක තැනගේ මළකුණද
වෙස් වලා පැමිණි
ආශිර්වාදයක්ම විය
පැන යන්නට සිර කඳවුරෙන්.....

මොන්ත ක්‍රිස්තෝ පරවේනියෙන්
මොන්ත ක්‍රිස්තෝ සිටු විය ඔබ
ධනයෙන් බලයෙන් පිරිපුන්
මහේශාඛ්‍යයෙන් ආඩ්‍යව…..

පලියට පලිය ගැනුමෙන්
තෘප්තවීද ඔබ???
ඩොන්ග්ලර් හා පෙම්වතිය විවාකරගත්
ෆෙනොන් මොන්ඩේගෝ
මරණ සයුරේ ගිල්වා.....
විනිසුරු විල්ෆොර්ඩ්ට
ජීවිතාන්තයටම සිරබත් කවා....

සිටුවර මොන්ත ක්‍රිස්තෝ;
ඔබට දැනුනු හැඟීම………
ෆෙනෝන් ඇසුරේ ඈ දිවි ගතකලේ
වෙන සරණක් නොහී බැව්….
ෆෙනෝන් ඇසුරේ වැඩුනේ
ඔබේ ලෙයින් දාව
පුත් කුමරුන් බැව්......
වසර දහතුනකට පසුව

එඩ්මොන්.....
අමතකද නුඹට
ඔබ උන් සිරකුටියේ
බිත්තිය මත
ඉපැරණි සිරකරුවකු විසින්
කුරුටුගා තිබූ අහිංසක වැකිය???????

“God will give me justice”

එඩ්මොන් ඩාන්ටේස්....කියන් මට.....

Did god give you the justice???

(The Count of Monte Cristo (2002) සිනමා පටය ඇසුරෙන්)

Friday, July 2, 2010

හොඳ වැඩේ පණුවන්ට!......

තම සිඟිති පුතු එදින
සැමදාක මෙන් මෙදින
අකුරට යන්නට හොරව
කුසීතව බොරු ලෙඩගෙන
ඉර එලිය වැටෙනතුරු
නිදා සිටිනා සඳ……

කියතී අම්මා මෙලෙසින්
දරු හිස පිරි මැද අදරව
“අනේ මගෙ චුටි පුතුනි
නැගිටින්නකෝ උදෙන්
අර අවිත් බලන්නකෝ
කොච්චර ලස්සනද එලියෙ
ඉර මාම ඇවිල්ලා......
ගස්වල මල් පිපීලා
ඒ විතරයැ බලන්නකෝ
හරි වැඩේනේ සිද්ධවෙන්නෙ......
රතුකරමල් කොක්කබාබා
මිදුලේ පනුවන් අල්ලා
බන්ඩි ගෙඩිය පුරවන හැටි”

දමයි ඈ නොයෙක දහම්ගැට
පුතු අවදි කරවන්නට...
විස්තර කරමින් සැවුලන්
පනුවන් ඩැහැගන්නා'යුරුව

ක්ෂණයෙන් අවදිවූ දරුවා
කියයි මේ ලෙස මව්හට
“හොඳ වැඩේ පණුවන්ට
උදෙන්ම අවදිවුනු එකට”

සිහින් දාබිඳු නැගිනි
මව් නලලත
කරකියා ගත නොහී කිසිත්
පිළිතුරු නැති අසරණව……

කෙලෙසක මිහිඳන් වෙන්නේ

කෙලෙසක මිහිඳන් වෙන්නේ
එවැනි සොඳුරු පෙමක්....
අප මියගියොත් මිසක
මියගිය පෙමක්
මෙදියත නැත

කාලාන්තර ගෙවා දිවි
යලි ගොඩ ගනිත්
අතීත ප්‍රේමයේ මෘත දේහය
පෙම් කල ලෝ සියලු දෙන
ලොවටම රහසින්
අතීත කාමයෙන්.....

එහෙත් කිසිදින එපා මිතුර
මරණ පරීක්ෂණ
කපාකොටා කුණු කරවා...........

ඉඩදෙන්න ඉන් ප්‍රේම සුවඳම විහිදුවන්න

ලොවට හොරා සුව විදින්න
සිත තනි වූ හැම මොහොතෙම
උපේක්ෂාවෙන්.....
හරි පුදුමෙකි
සිත පහන් වන'යුරු
සිත් බිඳලූ ප්‍රේමයෙන්ම

නුවනි නිසල්‍යා ඉරුගල්බන්ඩාර විසින් ලියන ලද "මිහිදන් කරන්න.... අමතක උනානේ මට.... උපන් ගෙයිම මියදුන... අපේ ප්රේමය..." කවිය ඇසුරෙනි .

Thursday, July 1, 2010

ටෙලි චිත්තර

බඹරු ඇවිත්* හන්තානෙට
අහස් ගව්ව*පසුකරමින්
දුහුළු මලක්* දැක නැවතී
සීතාම්බර සළු** හැඳගත්

බොඳ මීදුම්* කඳු වලල්ලෙ
එකදා වැහි* වස්සානේ
හිරිපොද වැස්සේ*තෙමිතෙමි
රජ ගෙදර පරවියන්*සේ

සප්ත කන්‍යා* කඳුවැටියේ
කන්‍යාවියද* ඈ......
උදුම්බරා මනාළියද**
සයනයේ සිහිනයේ*

ගොළු හදවත*පෑරෙයි අද
සලඹක් හඩවාලා*
කෙළිමඬලෙන්* සමුගන්නෙමි
සාගරයක් මැද*තනිවීලා
පරසතු මල්*සුවඳ කුමට
පවුරු වළලු*බිඳදා

පාරදිගේ* අනන්තයට
යමි සක්මන් මළුවේ*....
අවරගිරට* හිරු බසිනා
අනන්ත රාත්‍රියට*පාර කියන
මේ ධවල යාමයේ*
දෙවියනි ඔබ කොහෙදැයි*සොයා....

මවකගෙ ගීතය** උණුසුම්
ඇසේ මිහිඳුම් සිහින* අතරින්
නිම්නයක හුදකලාවෙ*......
යශෝරාවයක්මය** එය
ඉරට හඬන දරුවන්** වෙත
ඉන්ගම්මාරුවෙ** හිඳිනා
සුදු කලු අලු* ජීවිතයෙන්
මාවතේ ගීතය** ගයනා
තනි තටුවෙන් පියාඹන්න* වෙරදරනා......

*-චිත්‍රපට නාමයන්
**-ටෙලි නාට්‍ය නාමයන්